Ancient methods of weight measurement in Sri Lanka
මිනිසා ශිෂ්ටාචාරගත වීම සියවසක් තුල සිදු වූ කාර්යයක් නොවේ. එය ඒකාකාරී සිදුවීම් පද්ධතියක් නොවූ නමුත් පුරාතනයේ සිට සියවස් දහස් ගණනක සිට වෙනස්වීමට භාඡනය වෙමින් පවතින අඛණ්ඩ මානව ක්‍රියාවලියකි.
තරඟකාරී ආර්ථික රටාවක් නොමැති ඈත අතීතයේ ගනුදෙනු කටයුතු සඳහා මිනිසා තම එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් භාණ්ඩ හුවමාරු කරගැනීම සිදුකර ඇති බව පෙනීයයි. ("Barter system’’) නමුත් ක්‍රමිකව එහි ඇති සංකීර්ණතා හදුනා ගැනීමේදී ගනුදෙනු කිරීම සඳහා යම්කිසි ඒකකයක අවශ්‍යතාව සපුරාගැනීම වෙනුවෙන් ගල්, මැටිබෝල, සිප්පිකටු (කවඩි),උකුණන් , අබ ඇට, අමු ඇට, තල ඇට, වී ඇට , ඔළිඳ, මදටිය, මාෂක(මෑ ඇට) කුරුඹු ඇට, බුලු ඇට(කර්ශා) සියඹලා ඇට, කිකිළි බිත්තර වැනි සුලබ භෞතික දෑ භාවිතා කර ඇති බව පෙනී යයි. මෙලෙස ලෝකයේ එක් එක් රටේදී තමන්ට ආවේණික ලෙස මෙවැනි ද්‍රවය භාවිතා කර ඇත. පොළොවෙන් ලැබෙන ලෝහ වර්ග හඳුනා ගැනීමෙන් පසුව ඒවායේ ඇති උසස් ගුණාංග හේතුවෙන්, ගනුදෙනුවලට අවශ්‍ය මුදල් ඒකක නිපදවීම නිසා නිශ්චිත බරක් නොමැති සහ දීර්ඝ කාලීන පැවැත්මක් නොමැති ශාක හා සත්ව කොටස්වලින් නිර්මාණය වූ මුදල් ඒකක ප්‍රභේද ක්‍රමිකව භාවිතයෙන් ඉවත් වූ බව පෙනී යයි. පසුව ලෝහ භාවිතයෙන් නිපදවාගත් මුදල් ඒකක එක් එක් රටෙහි සම්මත ඒකක ලෙස බර කිරීමට මිනුම් දඬු ලෙස නිපදවා එයට අදාළ නාමකරණයන් සිදු කරගෙන ඇත. සමහර අවස්ථාවලදී එක් එක් රටෙහි ඒකකවල බරෙහි යම් යම් වෙනස්කම් තිබුණද ඒකක නාමයෙහි වෙනසක් සිදු වී නැති අවස්ථාද අපට දැකගත හැක.
තවද අතීතයේ මුදල් ගනුදෙනු සදහා නිපදවූ කාසිම කිරුම් මිනුම් සදහා අවශ්‍ය බර සකස් කර කරගැනීමද සිදු කර ඇත්තේ කාසි භාවිතා කිරීමෙන්ම බව වර්තමාන සිදුවීම් සමඟ අවධානයෙන් අධ්‍යයනය කිරීමෙන් අවබෝධ කරගත හැක. විශේෂයෙන් දේශීය බෙහෙත් වර්ග බර කිරීම සඳහාත් මුතු මැණික් වැනි වටිනා ඛනිජ ද්‍රව්‍යවල බර මැනීම සඳහාත් රන්,රිදී වැනි වටිනා ලෝහ බර කිරීම සඳහාත් මුල් කාලයේ මෙම කාසි ඒකක පරිහරණය කර ඇති බව පෙනී යයි. පසුකාලීනව එක් එක් රටවල එම ඒකකවලට, බරින් සුළු වශයෙන් වෙනස් වූ ඒකකයන් සහ නාමයන්ද විශාල බර කිරීම සඳහා ක්‍රමක්‍රමයෙන් ව්‍යුත්පන්න කර වැඩි දියුණු කරගෙන ඇති බව පෙනී යයි.