An ancient palm leaf book believed to date back to the Polonnaruwa period

෴එවිටම සතුටුවු සිත් ඇති බිසවු වැඳ සමුගෙන යානාවට නැගී නික්මුණු සැනයෙහි මහා සාමණේරයන් වහන්සේද නිරුද්ධව බිසවුන් මාලිගාවට නොයන තෙක්ම බඩ විදුරු පුරාපී කලක් මෙන් බිසවුන්ගේ බඩ පිළිසිඳ ගත් සේක෴ එකනෙහිම බිසවු සාමණේරයන් වහන්සේ මළ බව දැන මාලිගාවට යන ගමන් හැරවැලක විහාරයටම පෙරලා අවුත් සාමණේරයන් වහන්සේ මළ පවත් කාවන්තිස්ස රජ්ජුරුවන්ට කියා යවා රජ්ජුරුවන් ගෙන්වාගෙන දෙමහල්ලෝම බොහෝ පූජා සත්කාර කොට සාමණේරයන් වහන්සේ ආදාහන පූජා කරවා බිසවු රජ ගෙට නොගොස් විහාරයෙහිම වැස මහා සංඝයා වහන්සේට මහදන්දී නැවත මහ පිනැති බිසවුන්ට පැමිණියා වූ මෙවැනි දොළෙක් උපන්නහ෴ කෙසේ වූ දොළෙක් ද යත්෴ සියක් රියන් දිග ඇති මීවැදැල්ලක් සමීපයෙහි සැතප ගෙන වමලයෙන් (වම් ඇලයෙන්) යහන්පත්ව දොළොස් දහසක් සංඝයා වහන්සේට එමී දන් දී ඉතිරි මී තමන්ම කඩාගෙන කන්නටද නැවත අනුරාධපුර නුවර රජ කරන එලාල රජ්ජුරුවන් ගේ විසි මහා යෝධයන් අතුරෙන් නායක යෝධයාගේ ඉස කැපූ කඩුව දෙව
(දොවා) දේවීන්ට එපැන් ඔහුගේ ඉස මැඩගෙන බොන්නටද නැවත අනුරාධපුර නුවර දෙමළ රජ්ජුරුවන්ගේ තිසාවැව මානෙල් මල් කෙතින් මලා නොගිය මල් පලඳින්නට ද යන මෙතෙක් දෙය දේවීන්ට උපන කාවන්තිස්ස රජ්ජුරුවෝ විහාර මහා දේවීන්ට එලෙස උන් දොල අසා නිමිත්ත දන්නවුන්ගෙන්වා විචාලෝය එබස් ඇසූ නිමිත්ත පාඨකයෝ තමන්ගේ නුවණින් පරීක්ෂා කොට දිවසින් දුටුවන් මෙන් කියන්නාහු දේවයන් වහන්ස නුඹ වහන්සේගේ බිසවුන්ගෙ බඩ පිළිසිඳගත්තෙ මහා පිනැති පුතණු කෙනෙක ඌ මතු දසලුකඩමසින් බිහිව වැඩිවිය වයසට පැමිණ මතු මෙ ලංකාදීපයෙහි පුරාගෙන හුන් දෙමළුන් මරා පියා ලක්දිව බුදු සසුන් පවත්වතියි කිවූය එබස් ඇසූ රජ්ජුරුවෝ මා ගමම රන්බෙර ලවන්නෝ මෙිසැටියෙහි කියා බෙර ලැවූය෴ හෙකෙසේද යත්෴ යම් කිසි කෙනෙක් සීයක් රියන් දිග ඇති මීපටලයක් දැක මටකී කෙනෙක් ඇත්තේ නම් බොහෝ සම්පත් මාගෙන්ම ලැබෙන්නේ වේදැයි කිවූය ෴ ඉක්බිති ගොළු මුහුද තීරයෙහි මුණිනත (මුනින් අත)නමා තිබූ මහා නැවක මී මැස්සෝ මී බැද තිබූය මිනිසෙක් එමිය දැක අවුත් රජ්ජුරුවන්ට එපවත් දැන්වීය රජ්ජුරුවෝ එබස් අසා සතුටුව මහ පෙරහරින් බිසවුන් එතනට ගෙන ගොස් එතනහි යහපත් කොට මඩුවක් ලවා එමඩුව සරහා යහනක් පනවා බිසවුන්ට මී අනුභව කැරවිය දොලොස් දහසක් රහතන් වහන්සේට මී දන් දුන්හ ෴ නැවත ඉතිරී දොළ බිසවුන්ට දෙනු කැමති කාවන්තිස්ස රජ්ජුරුවෝ වේළුසුමන නම් යෝදයා කැඳවා දොල ගෙනෙන්නට නියෝග කෙලේය එවේලෙහි වේලුසුමනයා රජ්ජුරුවන් කී බස් අසා ගිවිස මාගමින් නික්ම අනුරාධපුර නුවරට එක දවසම ගොස් දෙමළ එළාර රජුගේ මඟුල් ඇතු සුරකිනා අස්සලයා හා මිත්රව ඔහු හා කරන සියල්ලමත්තේ ම කොට නැවත වේළුසුමන තෙමේ අස්සලයා නොවෙනස් බවූ දැන එක් දවසක් උදෑසනම මානෙල් මල්කෙතින් මහනෙල් මල් කඩාගෙන එමල් කොළොම්හොය සමීපයෙහිම ලූත් කඩුවත් සඟවා තබා කිසි කෙනෙකුත් කෙරෙහි බයක් සැකක් නැතුව වේලුසුමනයා එලාලා රජුගේ කෙතට ගොස් එමගුලසුපිටට පැනනැගී තමාගේ යෝධනම් අසවලා ගෙනගොස් සුරෙක් වී නම් අවුදින් මා අල්වාගනුවයි කියාලා අශ්වවේගයෙන් නික්මිණ ෴ එ ඇසූ දෙමළ රජ වේළුසුමනයන් ගන්නා පිණිස යෝධයන් විසි දෙනාගෙන් නායක යෝධයාට තමා නැගෙන දෙවෙනි මඟුලසුදීසේව ඌ අල්ලා ගනුවයි සමුදිණ එවෙලෙහි මේල්දේවනම් දෙමළ යෝධයා රජ්ජුරුවන්ට වැඳ සමුගෙන අසුපිටට පැන නැගී අස්ව වේගයෙන් ඔහු හඹා දිවිය එවේලෙහි වේළුසුමනයා තමා පසුපස්සෙහි හඹා දිවන දෙමළ යෝධයා දැක වේළුසුමනයා කැලයක් මුවාව ගෙන අසුපිටහි හිද ඌ වේගයෙන් දිවන්නවූට කඩුව සරස් කොටපෑ උගේ හිස කපා අසුපිට එඉස තබාගෙන ඌ ගෙන අසුන් හැරගෙන එම දවසම සවසට මාගමට ගොස්වණ එවේලෙහි කාවන්තිස්ස රජ්ජුරුවෝ සතුටුව බිසවුන් රුචී වූ පරිද්දෙන් දොළ පහකොට වේලුසුමනයන්ට බොහෝ සම්පත් දුන්හ ෴ ඉක්බිති බිසවුන් වැදුවමන සමයෙහි මහ පිනැති උතුම් වූ කුමාර කෙනකු වැදුය
Leave your comment
Note: HTML is not translated!